Friday, July 22, 2016

අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය !

ඇය මට හමුවුනේ හරියටම දෙවසරකට පසු... අප දන්නා කියන අයෙක්... නැවත පන්සලේදී මුණගැසුනාට ඇය වෙනස් වී තිබුනා.

"නංගී මම අවුරුදු දෙකක් වෙනකම් කතා කරන්න බැරුව හිටියා. දරුවා ඉන්නවා කියලාවත් මට දැනුනේ නෑ. සියල්ල අමතකයි" ඇය පැවසුවා මතකයි.

"දරුවා ලැබිලා එදා රෑ මට මතක ලයින් හෝම් එකේ... වාට්ටුවේ ටොයිලට් එකට ගියා... ලොකු තඩි කකුල් දෙකක් මා දිහාට ඇවිදන් ආවා." ඇය එහෙමත් කීවා මතකයි.

"දැන් තමා මට සිහියක් ආවේ...මට දරුවා අල්ලන්න දරුවා බලන්නවත් ලැබුනේ නෑ. පුතාට කිරි දීලාත් නෑ මම"

නමුත් එවකට උසස් පෙල පන්තියේ සිසුවියක් වු මට ඒ අක්කා කියපු කතාව නිරන්තරයෙන් මතක් වුනේ වෛද්‍ය විද්‍යාලයේදී සායන වටයකදී පසු ප්‍රසව ආතතියට/ විෂාධිය ට ලක් වුනු කාන්තාවන් දුටු විට ය.

එක් අයෙක් අත් දෙක බැඳගෙන දරුවෙක් නලවන ආකාරයට එය එහෙ මෙහෙ කරමින් උන්නා. ඇය අසලට ගිය විට ඇය අපෙන් දරුවා මදකට අල්ලා ගන්නවාදැයි අසා.. අපේ කණ්ඩායමේ පිරිමි ළමයෙක් වෙත පැමිණ අතේ දරුවෙක් නොසිටි නමුත් දරුවෙක් ඉන්නා ආකාරයට ඔහුගේ අතට මාරු කළා.
ඒ පටන් මේ වන තෙක් ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල ද, මානසික ඒකකයන් වලද නිරන්තරයෙන් මට ඔවුන් මුණ ගැසෙනවා.

අප වෙත පැමිණෙන දරුවන් කිහිප දෙනෙක්ගේම අම්මලා මේ තත්වය නිසා, මනස විකල් වී, ඔහේ බලාගත්තු අත බලාගෙන හිඳින්නියන් වෙලා.
ඒ දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය සම්බන්ධ ගැටළු රාශියක් තිබෙනවා. ඔවුන්ගේ පවුල් පසුබිමේ වුනත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා ඒ අම්මලාගේ සුව වීම සතුටු දායක මට්ටමක නොමැත. දරුවන් හැමෝම වාගේ ආච්චි අම්මාගේ රැකවරණය ලබයි. නාම මාත්‍රිකව පමණක් මවක සිටින දරුවන් ද මේ අතර වේ. මේ තත්වය ගැන වඩා සවිස්තරාත්මක ලියවිල්ලක යෙදෙන්නට අවැසිමය කියා මට සිතිනි.
මේ ලින්ක් එකෙන් ඔබට ඒ ගැන ඉංග්‍රීසි බසින් කියවන්නට පුළුවන. http://www.mayoclinic.org/

 හේතු වන කරුණු රාශියකි... ඉන් අතර මූලිකවම ඇත්තේ ගර්භනී සමබය‍ඒදී ශරීරයේ ඇති වූ වෙනස්කම් වලට හේතු පාදක වන හෝමෝන වල ක්‍රියාකාරිත්වයයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් යන හෝමෝන දෙකෙහි ප්‍රමාණයන් විශාල වශයෙන් අඩු වීම මෙයට හේතුවන බවත් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන අඩු වීමත් යන මෙය එක හේතුවකි.

දරුවා ලැබෙන්න ඉන්න කාලයේ ඉඳන් දැනුණු කායික පීඩා, ලැබුණු පසු නින්ද නොමැති වීම අධික තෙහෙට්ටුව මහන්සිය , නිවැසියන්ගෙන් එල්ල වන ඇතැම් මානසික පීඩා මෙයට හේතු විය හැකිය.

තවත් පැත්තකින් බොහෝ කලබලකාරී හෝ අහිමිවීම් බහුල ගර්භනී සමයක් ගෙවූ අයට ද, ස්වාමියාගෙන් නිවැසියන්ගෙන් උදව් උපකාර අඩු අය ද,  ආතතිය, විෂාධිය සහ මානසික රෝගාබාධවලට කලින්ම ගොදුරු වූ අයද මෙවැනි තත්වයකට ඇද වැටිය හැකිය.
අලුත උපන් බිළිඳාගේ රෝගී තත්වයක් වුනත් මවකට බොහෝ පීඩා ගෙන දී එයින්ම ඇය පසු ප්‍රසව විෂාධිය තත්වයට පත් විය හැක.
 මෙහි ඇති භයානක බව සමාජයට වැටහෙන්නේ නැති බව මා හොඳින්ම දනිමි. දරුවන් තිදෙනෙක් මෙලොව තනිකර මෑතකදී අවසන් ගමන් ගිය වෛද්‍යවරයෙකුගේ බිරිඳ ගැන මට මතක් වේ.

ඔබ දන්නවා ද ? පෝස්ට් පාර්ටම් ඩිප්‍රෙෂන් හෙවත් පසු ප්‍රසව විෂාධිය තත්වය ගැන ?

"ඩොක්ටර් මට ජීවත් වෙන එකත් එපා වෙලා... මේ ප්‍රශ්නෙ නිසා... බබා කිරි බීවට අඬනවා ඉවරයක් නෑ. එයාගේ බරත් අඩු වෙලා " ඔහොම කියන තරුණ මව්වරුන්, බොහෝමයකට බලපෑම් එන්නේ " ඔයාගේ කිරි මදි ඒකයි ළමයා අඬන්නේ , ඉතින් පිටි කිරි දෙන්න"  කියලයි. එහෙම නැත්නම් දරුවෝ හදන හැටි ගැන අළුත් අම්මලාට විශාරද  ඝණයේ උපදෙස් දෙන නැන්දම්මලා, ඒ වගේ අනවශ්‍ය බලපෑම් කිරීම් නිසා තරුණ මව්වරුන් බොහෝමයක් ඉන්නේ දැඩි පීඩනයක.

"මට තේරුණා එයා ගොඩක් සංවේදී කියලා, දරුවා ඉපදුනත් එක්ක අම්මලාගේ ගෙදර ඉන්නකොට ඇඟිලි ගැසීම් වැඩී. කොයිවෙලෙත් කට්ටිය කිරි දෙන්න කිරි දෙන්න ඇයි අඩන්නේ වගේ ප්‍රශ්න අහනකොට එයා ගොඩක් කලබල වෙනවා. බබාගේ වැඩත් තනියම කරගෙන කොහොම ඉන්නවද මන්දා " පියෙක් එහෙම කියද්දී මට ඇත්තටම ඒ ගැන සතුටු හිතුනා.

මව්වරු විශාල කරදර ගොන්නකට මුහුණ දේ.
ඒක , අම්මා කෙනෙක්ගේ වගකීම හෝ යුතුකම ලෙසින් ලේබල් ගසන්නට උත්සහ ගන්නා දහසකුත් පිරිමින් අතර, තමන්ගේ බිරිඳ විඳින කායික සහ මානසික වේදනා ගැන බොහොම සංවේදීව කරුණාවෙන් සිතන , ඒ ගැන කණගාටු වෙන පිරිමින් සහ ඔවුන්ගේ ඒ පීඩාවලට සහනයක් ගෙන දෙන්න වෙහෙසෙන සැමියන්ද මා කොතෙකුත් දැක ඇත.

" මම රෑට කිරි වේල් දොවලා තියනවා, හස්බන්ඩ් සතියකට දින කීපයක්, මට නිදාගන්න කියලා, බබා ඇහෙරෙනකොට එයා ඒ කිරි පොවනවා. මට ඒ නිසා ලොකු වෙහෙසක් නැති දින කීපයක් තියෙනවා" ඒ මා සමග දොඩමළු වුන පිටරට සිටින යුරෝපීය ජාතික යෙහෙළියක් පැවසූ වදනක්.

" හස්බන්ඩ් රෑ තිස්සේ කිරි පොවලා දුන්නම ගුඩුස් බස්සනවා, එයාට පහුවදා වැඩට ගිහින් හරි වෙහෙසලු, මම නම් ටිකක් හරි නිදියනවා"

" මම කිරි දොවලා තියලා ඇවිදින්න යනවා, සැමියා තමා කිරි පොවන්නේ... පැයක්වත්  මම ඇවිදිනවා" ඒ මගේ පිටරට ඉන්න නෑනා කියපු කතාව.

ඔව් බටහිර රටවල , යුරෝපය ඇමෙරිකාව වගේ නිදහස් චින්තනයක් හෙබි රටවල එහෙමයි.

අපේ රටේ අමනුස්ස සැමියන් කියන්නේ

"අම්මෙක්ගේ යුතුකම් වගකීම්. අම්මෙක් උනාම ඔහොම තමා. ඕවා තනියම විඳින්න... ඕවා ඔයාගේ වැඩ ඔයා කරන්න...."
"මොන මළ වදයක්ද මේ.. මොකටද එහෙනම් දරුවෝ හැදුවේ"
"ඕවා දරුවා හදන්න කලින් හිතන්න තිබුනා"
" හැදුවනම් දැන් ඉතින් කරගන්න "
"මේ අඬවැඩියාව ඉවරයක් නැද්ද?"

ඔය වගේ අමනුස්ස කතා කියන නොමිනිස්සු ඉන්න මහා සංස්කෘතික රටේ අය වගේ නොවේ පිටරට වල ඉන්න අය...

ඒ අය,
 හැම මනුස්සයෙක්ම තමන්ට වගේම අමාරුකම් තියෙන අය බව වටහා ගන්නා පිරිසක්.

ඒවගේම දරු ප්‍රසූතියකට පස්සේ අම්මෙක් දැඩි වෙහෙසක ඉන්න බවත්, සීසර් සැත්කම හෝ යෝනි මාර්ගයේ කැපුම් පැලීම් තුවාල නිසා අම්මෙක් අමාරුවෙන් ඉන්න බව වටහා ගන්න පිරිසක්.

ඉතින් ඒ අය තමන්ගේ බිරිඳට ගෞරවයෙන් සලකනවා. පූර්ව හෝ පසු ප්‍රසව ආතතියෙන් පෙලෙන තමන්ගේ බිරිඳව ආදරෙන් බලාගන්න උපදෙස් ගන්නවා. ඒකට අන්තර්ජාලයෙත් බොහෝ උපදෙස් තියෙනවා. එතකොට ආතතිය විෂාධියක් බවට පෙරලෙන්න තියන අවධානමද අඩුයි.

අළුත් ජීවියෙක් කැන්දන් එන මවකට පියෙකුට ඒ දරුවා ගැන කොයි තරම් නම් ස්නේහයක් තියෙනවා ද? ඒ සෙනෙහසම එකිනෙකා වෙනුවෙන් දක්වන්න පුළුවන්නම් මේ ප්‍රශ්න බොහෝමයක් අඩුවෙන බවයි අපේ මනෝවෛද්‍ය විශේෂඥවරයා පවසන්නේ.

"පැය දෙකෙන් දෙක නැගිටිමින් කිරි දෙමින්, ගුඩුස් බස්සන්න කරේ තියන් ඇවිදිමින් ( අර කැපුම් තුවාල සීසර් සැත්කම් අමාරුකම් එක්ක) ඊළඟට ඇඳුම් හෝදමින් මදිමින්... මේ සියල්ල කරමින් ඉන්නා මවකට සැනසීමක් සහනයක් ලබා දීම  කරන්නෙ නැතිව පීඩනයක්ම එල්ල කරනවිට ඇය පුපුරා යන එක අහන්න දෙයක් නොවේ.... "ඔහු තව දුරටත් පැවසුවා.

පිටරටවල තරුණ පියවරුන්ගේ මම දකින ලක්ෂණයක් තමයි වගකීම් දරනා ස්වභාවය. අපේ රටේ ඒක අඩුයි.
ලංකාවේදී නම් මට සතුටෙන් පිරියෙන් සිටින අම්මෙක් මුණ ගැසුනේම නැති තරම්.

ඉපදී සතියක් වයසැති දරුවන් බලන well baby clinic වලදී මේ අම්මලා විඳිනා ගැහැට ඔවුන්ගේ මුහුණු වලින් සහ හැසිරීමෙන්ම දකින්නට ලැබේ.
"අම්මා නිදාගත්ත ද? ගොඩක් වෙහෙස ද?" වගේ කාරුණික ප්‍රශ්නයක් අහලා මා ඔවුන්ට හිත සැහැල්ලු කරගන්න අවකාශ සලසන්නේ එහෙයිනි.
" අනේ ඩොක්ටර් පොඩි දෙන්නගේ වැඩත් මෙයාගේ කිරි දෙන එකත් ඔක්කොම කරනකොට මට පිස්සු වගේ හවස් වෙනකොට"
"දැන් ඔයාට සියල්ල තනියෙන් කරන්න බෑ, ඔයාට උදව් ඕනෑ අම්මා" එහෙම කියද්දී
" මහත්තයා ආවා එයාට ඔය ටික කියන්න පුළුවන්ද ඩොක්ටර් " කියා අසන අම්මලාද අඩු නැත.
"අනේ ඩොක්ටර් මං නිදාගෙනම නෑ එක දිගට ඇහැරලා..." දින දහයක් පමණ තම රෝගී දරුවා සමග දුක්විඳින මවක් අප හා පවසයි. ඇතැම් මව්වරු තමන්ගේ සුවපහසුව තකා රෝගී දරුවාද රැගෙන ගෙවල් වල යති.

මසකට දෙතුන් පාරක්, ජාතික මානසික රෝහලේ ඇම්බියුලන්ස් එකක , පසු ප්‍රසව විෂාධියෙන් පෙළෙන මව්වරුන්ගේ කුඩා බිළිඳුන් අප රෝහල වෙත එවන්නේ ඔවුන්ගේ නොයෙකුත් ප්‍රශ්න සඳහා පිළියම් සෙවීමටය. ඒ මව්වරුන් බොහෝමයකට ඒ වෙනකොටත් සිහි කල්පනාවක් නැතිව ඊ සී ටී ලබා දෙන බවද ඇසේ.  මේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේ ද ?
අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ පියවරුන්ද දරුවන් කෙරෙහි ආදරයෙන් සිටින  ආකාරයේ හැසිරීමක් නොපෙන්වති. ඇතැමුන්ගේ පියවරුන් ඔවුන් හැර ගොසිනි.

බොහෝ පියවරුන් එසේ ය. බොහෝ විට උපතේදී රෝගී වුන දරුවන් ගේ බර දරාගෙන රෝහලේම කල් ගත කරන මව්වරුන් තනිව විඳින ඒ දුක දැනෙන්නේ අපට පමණම දැයි සිතේ.
ඇතැම් පියවරුන් මෙවැනි ප්‍රශ්න මත , තවත් ගැටළු නිර්මාණය කරගෙන අර මව්වරුන්ගේ පීඩනය රෝගයකට හරවා ඔවුන් හැර යති.

ඒ අම්මලා මේ කරුම කරදර දරන් දරුවන් හදා ගන්නේ කොහොමද ? දරුවන් ගේ මනස නිසි ආකාරයෙන් වර්ධනයක් සිදුවේ ද? අවසානයේ මව්වරුන් සියදිවි නසාගන්න තරම් මේ තත්වය භයානක බව කොයි තරම් ද කීවොත් , 2013 ඇමරිකාවේ දී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබුනේ පසු ප්‍රසව විෂාධිය ට ලක් වූ මව්වරුන් පස් දෙනෙකුගේන්ම කෙනෙක් සිය දිවි හානි කරගන්නා සිතුවිලි තිබූ අයවලුන් බවය.
(CDC statistics  - and  post partum statistics )

අපේ රටේ කියා මේ තත්වය වෙනස් වෙන්නේ නැත. මව්වරුන් වැඩිමනක් මිය යන්නේ, පසු ප්‍රසව රුධිර වහන තත්වයන් නිසාය දෙවෙනියට මිය යන්නේ, සිය දිවි හානි කරගැනීම් නිසාය ඒ මේ කියන විෂාධිය නිසාය.

එනිසා මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය ගැනද සිතා බැලිය යුතු කාලයකි මේ. දරුවාට ආදරය කරන බොහෝ පියවරුන් දරුවාට ජීවය දෙන තම දිවියම වෙනස් කරගන්නා මව්වරුන්ට බොහෝ මානසික/ කායික පීඩා කරති.
මා බොහෝ ප්‍රිය කරන කියමනක් තිබේ ... " ඔබේ දරුවන්ට ආදරේ නම් ඔවුන්ගේ මවට ආදරේ කරන්න" කියන කියමනයි. එහි සැඟවුනු අරුත ඔබට වැටහේ යැයි සිතේ.

තමන්ගේ බිරිඳට, බෙහෙත් ගන්න, සාමාන්‍ය කෙනෙක් වෙන්න කියන්න වචන නාස්ති කරන ඔබ, ඇයට යථා තත්වයට පත් වෙන්න උදව්වන සානුකම්පිත , ඇය වෙනුවෙන් කරුණාව දක්වන කෙනෙක් වෙන්න.

පසු ප්‍රසව විෂාධිය ඇති වීමට අවධානම වැඩි පරිසර, තත්ව , රෝගාබාද, හෝ සාමාජීය ප්‍රශ්න ඇති අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
විශේෂයෙන්ම මානසික රෝගාබාද වලට ලක් වූ අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
අවසානයේ...
ඇයට ආදරය දක්වන්න, හැකි තරම් පීඩා ඉවත් කරන්න, තනි කර පලා නොයන්න, ඇය  ඉක්මනින් සුව වෙනු ඇත !

"මම මොකද්ද කරන්න ඕනේ ඩොක්ටර් එයාව සතුටින් තියන්න ? "
එහෙම අහපු තරුණ පරිඝණක ඉංජිනේරු පියෙක් අපට හමුවේ.
" එයා ගැන විතරක්ම අහන්න, ගෙදර ආපු ගමන් දරුවා ගැන ප්‍රශ්න අහන්නේ නැතිව එයාට කොහොම ද? කියලා විතරක් සොයා බලන්න ! දරුවා ගැන අපි බලන්නම්, අම්මා ගේ මනස හරියනකොට, කිරි ප්‍රශ්නය විසඳෙනවා. දුකින් ඉන්නකොට කිරි එරෙන එකත් අඩු වෙනවා" ඒ වගේ පිළිතුරු අපෙන් ලැබුනා.

ඒ අතර බ්ලොග් ලියමන ප්‍රමාද වෙන්නට හේතු කාරනා බොහෝමයක් තිබෙනවා.. වෛරස් උණ රෝග, ඩෙංගු, බඩ එළියේ යෑම වමන )ය සමග වාට්ටු පිරී ඉතිරී යෑම.... සැරෙන් සැරේ අප වෙතද ඒ රෝග බෝ වීම වැනි කාරණා නිසා ජීවිතේ බොහෝ අපහසුකම් මැද ගෙවිනි....





23 comments:

  1. අනේ මන්දා අපේ අය : අම්මලා , නැන්දම්ලා , තාත්තල , මාමන්ඩියල , හස්බන්ඩෝ .....මේක මං පොර ටොක් එකක් නෙමෙයි , මම ඉක්මනින් කිපෙන තරහ යන මනුස්සයෙක් ...හැබැයි මේ කාරනාවෙදි ...මං හරි දේ කලි නේද කියල හිතෙනවා ....දොස්තරලගේ කෙනෙහිලි කං මං හොදට විදපු කෙනෙක් ...කලින් මං එහෙම කමෙන්ට් දාල තියනවා ...සමහරක් පබ්ලිෂ් උනාද මන්දා ( දැක්කේ නැ සොරි )


    අපේ ඔය ලොක්කි හම්බෙන්ඩ ඉන්නකොට අපේ අටමි හැමදාම වමනේ දානවා , මොනවා හදලා දුන්නත් කන්නේ නැ , යාංතං පළතුරු ටිකක් නං කෑවා , කාසා එකේ සිෆුඩ් චොප්සි කාල විතරයි ඒ ඇරුනහම වමනේ දැම්මේ නැත්තේ , පස්සේ අප්පචියේ හදිස්සියේ අමාරුවෙලා අපි චැනල් කරපු මහත්තයා ගේ වාට්ටුවට නෙමෙයි වෙන වාට්ටුවකට අුැඩ්මිෂන් තියන දවසක ගෙනිහින් මගේ අහිංසකිට දීපු වදයක් ,

    තව ඩිංගෙන් මැරෙනවා , පස්සේ දන්න දන්න අයට කතා කරල අර මහත්තයගේ වාට්ටුවට දැම්මහම තමා ඔන්න සිසේරියන් කරේ , ඒ වෙනකොට නැගිටින්ඩ බැරිවෙන්ඩම මයේ පණ දුරුවල වෙලා ,

    එදා රෑ මට කිසි තොරතුරක් නැ , මං හොරාට ඉස්පිරිතාලේ තාප්පෙං පැනලා , වාට්ටුවට ගිහින් හොරාවගේ හැංගිලා වෝඩ් රවුන්ඩ් කරල , මයේ කෙල්ලයි ගෑනියි හොයාගත්තා ,

    ඔන්න මට පේනවා අවුලක් නැ , අපේ උන්දැ ඉන්නවා , තව ටිකක් ලං කරල , චුටං තොටිල්ලේ කෙල්ල ඉන්නවා කියලත් දැනගන ......හාමිනේට මුන පේන තැනකට ඇවිත් ...... මං ඔයාට වැඩි කහට කුක්කු එකක් හදං හෙට උදේට එන්නං කියල ...කියල ආවා ........මේ ඇත්තමයි ......මං දෝනි දිහා බැලුවේ නැ අටමි අරං අතට දෙනකං ......

    ReplyDelete
    Replies
    1. //මං හොරාට ඉස්පිරිතාලේ තාප්පෙං පැනලා , වාට්ටුවට ගිහින් හොරාවගේ හැංගිලා වෝඩ් රවුන්ඩ් කරල ,//+++++++++++

      Delete
  2. අපේ චුටි හම්බෙච්ච දෙවනි පාර ........පලවෙනි පාර අපි දැනන් හිටියට දෝනියෙක් කියල මේ පාර බලන්න එපා කියල මම කියුවා .....ඉස්සෙල්ලා තරං අව්ලක් ගියේ නැ .........ඔන්න ඉතින් ....පලවෙනි පාර අල්ලපු දොස්තරට බැන්න එකාව මේ පාර ඇල්ලුවා .....අනේ අර මනුස්සය රත්තරං මුට වැඩිය ..... ඔන්න ඉතින් පාන්දර එකහමාරට විතර මට කෝල එකක් එනවා ...දන්නේ නැති නම්බර් එකක් ....

    හෙලෝ

    ලොකු මං

    ඉතින් තාම ඔයා එලියෙද

    නැ ....අනේ ඔයට දුක හිතෙයි ....මට තව දෝණි කෙනෙක් හම්බුනා

    ඉතින් චෝයි ....ඔය කොල්ලෝ හරියන්නේ නැ ...මං ඔයාට කහට කුක්කු එකක් හදං හෙට උදේට එන්නං

    ReplyDelete
    Replies
    1. මැරියන් තෝ....අපිට පිස්සු හදවලා....

      Delete
  3. පිටරටවල තරුණ පියවරුන්ගේ මම දකින ලක්ෂණයක් තමයි වගකීම් දරනා ස්වභාවය. අපේ රටේ ඒක අඩුයි.//// athha the reason is too much family involvements

    ReplyDelete
    Replies
    1. රුවන් සහ බෝධිනී. මම මෙතනදි සීයට සීයක් එකඟ නොවෙන නොවෙන කාරනාවක් තමයි අපි පිටරට කියන වචනෙන් අදහස් කරන දේ සහ ඇත්තෙන්ම අදහස් වෙන දේ අතර තියෙන පරතරය.

      ඔබ දෙදෙනාම මෙතනදි අදහස් කරන්නෙ බටහිර සංස්කෘතියක් ඇති සහ ගැහැණු පිරිමි අතර යම තාක් දුරකට අපටවඩා සමානාත්මතාව තියෙන සමාජ ගැන වෙන්නැති.

      නමුත් පිටරට කිව්වාම බිරිඳට පහර දියයුතු නියම ආකාරය ගැන කියාදෙන අරාබිකරයේ රටවල්, දෑවැද්ද නැතිනම් ලේලි මරාදාන ඉන්දියාව වගේ රටවල් වගේම ඒවගේ විශේෂණ පද නැතුව කාන්තාවන්ට හින්සා කරන අනිත් සියලුම රටවල් අයිති වෙනවා. ඇත්තෙන්ම මම හිතන්නේ සීයට පනහකට වඩා තියෙන්නෙ එහෙම පිට රටවල්. සාපේක්ෂව බැලුවම අපි ඉන්න තැන හොඳයි උන් බොහොම දෙනෙකුට වඩා.

      Delete
    2. සීයට පන්සීයක් එකඟයි ඩූඩ්. අද අපේ රටේ ඉන්න බොහොමයක් අඹු සැමියන් ඉතා අවබෝධයෙන් හා වගකීමෙන් ක්‍රියාකරනවා. සෞඛ්‍ය අධ්‍යාපන උපදෙස් අඹු සැමියන් සායන වෙත ගෙන්වා ලබාදීමත් වැදගත්. සැමියාට නිතර ගෙදර එන්න බැරි රැකියාවක් කරනවානම් වෙනත් විකල්ප හොයන්න වෙනවා.

      Delete
  4. මං දන්න අක්ක කෙනෙක්ටත් බබා හම්බෙන්න ඉන්නකොට ආතති තත්ත්වයක් තිබුනා කියලා මට හොඳට තේරුනා... වෙනද වගේ හිනාවෙලා සතුටින් හිටියෙ නැ.... බබා හම්බුනාට පස්සෙත් එහෙමයි... බබා අඬනකොට නොසෑහෙනට බනිනවා.... ඒ තත්ත්වෙ අඩු වෙන්න එයාගේ අම්මා, නැංදම්මා වගේම සැමියා හේතුවුනා.... ඒ අය අක්කගෙ වැඩවලට උදව් කළා... රෑට බබා ඇහැරිනකොට අයිය තමයි ඇහැරලා බබා බලන්නේ.....

    ReplyDelete
  5. අක්කෙ මං දන්න කීප දෙනෙක්ම පළවෙනි බබා ලැබුනට පස්සේ ආයෙ බබාලා හදන්නෑ කියලා තිරණය කරලා... අනික ඒ අය පසු ආතති තත්ත්ව ඇති වෙලා තිබුනා... ඒ අය කියුවේ එහෙමවුනේ ඒ වෙලාවේ හෙදියො, සාත්තුසේවිකාවෝ ගොඩක් අමානුශික විදිහට එයාලට සැලකුවා කියලා... හැබැයි එයාලා හැම කෙනෙක්ම කියුවේ ඩොක්ටස්ල නම් හරිම හොඳයි..... ඒ අය කාරුණිකව කතා කළා, බැලුවා කියලා.... අනිත් අය ගැන කතා කලේ හරිම කලකිරීමෙන්...

    ඒ වගේ තත්ත්වයනුත් මවුවරුන්ට බලපාන්න පුලුවන් නේද අක්කේ.... ඇයි ඒ අය ඒ තරම් අමාරුවෙන් ඉන්න අම්මලාට එහෙම කතා කරන්නේ... සලකන්නේ... ඒ හැම කෙනෙක්ම කියුවේ කැත විදිහට බැන්නා, කතා කලා කියලා... ඒ වෙලාවට වෛද්‍යවරුන්ට කාරුණික වෙන්න පුලුවන් නම් අනිත් අයට ඇයි බැරි...

    ReplyDelete
  6. දූ ලැබුණේ ඩී ‍සොයිසාවේ. සීසර් සැත්කමකින්. ඒක හරියට මැහිලා නැතුව ගොඩක් ලේ ගිහින්, ආයේ පැය 12කට විතර පස්සේ වෝඩ් එකේදි මහන්න වුණා. ඔයා මේ විස්තර කරනවා වගේ දෙයක් මට වුණා. මට දරුවා අතට ගන්න හිතුණේ නැහැ. මං කුකුලෙක් වගේ සතෙක් අතේ තියන් නලවනවා, ඒ සතාට කිරි දෙනවා වගේ දැණුනා. දරුවා අතේ නැතුවත් දරුවා අතේ ඉන්නවා වගේ දැණුනා. තුවාලේ ‍ගොඩක් අමාරුවෙන් ඉන්දැද්දි දරුවා අතට අරං දෙන්නවත් කෙනෙකුට ලඟ ඉන්න දෙන්නේ නැහැනේ. යාංතං නිදි කරලා තොටිල්ලේ තියලා,තුවාලේ කරන්ට් වදිනවා වගේ දැනෙන්දි ඇදේ හේත්තු වෙලා ටික වෙලාවකින් ආයේ බබා ඇහැරිලා කවුරු හරි මාව ඇහැරවනවා. එතකොට බබා අතේ මේ ඉන්නේ කියලා මං එකහෙලාම කියලා තියෙනවා. ඉතිං කොහොම හරි අමාරුවෙන් නැගිටිද්දි ආයේ තුවාලේ කරන්ට් වදිනවා වගේ දැනෙනවා. ගෙදර ආවාට පස්සේ මේ මොන පිස්සුවක්ද මොන කරදරයක්ද වගේ දේවල් දිගින් දිගටම හිතෙන්න ගත්තා. හැබැයි මං ඒක මහත්තයාගෙන් හංගන්න පුළුවන් තරම් උත්සහ කළත් එයාට ඒක දැණුනු බව මට තේරුණා. එයා පස්සේ මට කිව්වත් එක්ක. (මං ඒ හැටි මේ කතාව කියන්නත් කැමති නැහැ. ඒ තරමට මට ලෝභ හිතෙනවා.) රෑ පැය දෙකින් දෙකට ඇහැරලා එයා බබාව මං අතට දුන්නා. කිරි දෙනකම් ලඟට වෙලා ඔළුව අත ගගා ඉන්නවා. කකුල් අත ගානවා. කිරි තේ හදලා දෙනවා. ඇහරවපු ගමන් මගේ මූණෙන් පේන 'මොන මොන කරදරයක්ද?' පෙනුම හඳුනාගත්ත බව පේන එයාගේ මූණ මට හංගනවා. දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒ සේරමත් හරි වැඩටත් යන එන ගමන් උදේ හවස මගේ තුවාලේ පිරිසිදු කරලා බෙහෙත් දානවා. පස්සේ මාසයකින් වගේ මගේ ඒ හිතේ අමාරු ගතිය ඇරිලා ගියා. පස්සේ පුතා වෙලාවේ නම් එහෙම සිතුවිලි ඇති වුණේ නැහැ.

    ReplyDelete
  7. රටක බහුලව ඇතිවන සමාජ ගැටළු, පාරිසරික ගැටළු වැනි දේ අධ්‍යාපනයේදී ආමන්ත්‍රණය විය යුතුයි. එවැනි කිසිදු බරපතළ ගැටළුවක්, මෑත කාලයේ සිදුවූ කිසිදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී ආමන්ත්‍රණය වී ඇත්තේ නැත.
    රජයේ විශ්වවිද්‍යාල 3ක සිටි මගේ අත්දැකීම නම් අඩුම තරමේ විශ්විද්‍යාලවලවත් මෙවැනි වැදගත් දේ සාකච්ඡා වෙන්නේ නැති බවයි. ගැහැණු පිරිර්මි දෙප්ර්ශවයම මේ ගැන නිසිලෙස දැනුවත් කිරීම් විශ්විද්‍යාල වලින්වත් ආරම්භ කිරීමට හැකියාවක් තිබේද ?

    ReplyDelete
  8. මේවා කතා කල යුතුම සහ ජනතාව දැනුවත් කල යුතුම දේවල්. කරුමෙ කියන්නෙ තරුණ කාලෙ එහෙම හිතන උන් පස්සෙ නැන්දම්මලා වුනාම නවක වදය වගේ තමන්ගෙ ලේලිට ඒ වදේම දෙන්න ඉදිරිපත් වෙන එක.

    මගේ යාලුවෙක් හිටියා. උගේ මං දකින විශේෂයක් තමයි ඌ කොහෙ හරි ගිහින් කෑවාම කෑම උයපු කෙනා හොයලා ගිහින් ස්තුතියිකියන එක සහාලුත උපන් දරුවෙක් බලන්න ගියාම ඌ දරුවට කලින් අම්මට කොහොමද කියලා අහන එක. පොඩි දේ වගේ පෙනුනට රටක් වටින දේ. හැබැයි මම උගේ දේශපාලන අදහස් එක්ක නිතර ගැටෙනවා.

    ReplyDelete
  9. දරුවෙක් ඉපදීම මවක් දැඩි ලෙස වේදනාවක් අත්විදින අවස්ථාවක්. ඒ වගේම දරුවා ඉපදීමත් එක්ක ඒ මවගේ ශරීරය විශාල වෙනස්කම් ගණනාවකට මුහුණ දෙනවා. ඒ වගේම සමාජයීය වශයෙනුත්, වගකීම් අතිනුත් මව ඉතා බරපතල වෙනස්කම් ගණනාවකට මුහුණ දෙනවා. ඇතැම් අයෙකුට මෙය තරමක් දරාගැනීමට අපහසු විය හැකියි. විශාදය තත්ත්වයට පත්වීම දරුවන් ලැබූ මව්වරුන් අතර සුලබ වීමට මේ වගේ දේවල් හේතු වෙන්න පුලුවන්. ඒ නිසා ඒ අයට අවශ්‍ය ආදරය, ආරක්ෂාව ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මවක් පෙන්නුම් කළ හැකි වෙනස්කම් පිළිබද අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මෙවැනි තත්ත්වයට පත් වූ මව්වරුන්ට විය හැකි ලොකුම හානිය තමයි තමන්වම හෝ තමන්ගේ දරුවාගේ ජීවිතය විනාශ කිරීම. ඒ නිසා දරු උපතක් සිදු වී වසරක් පමණ යන තුරු මව කිසියම් වැඩිමනත් රැකවරණයක් ලැබිය යුතුයි. ඒ ගැන හැම කෙනෙක්ම දැනුවත් වී සිටීම වැදගත්. මෙවැනි ලිපියක් පළකිරීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.

    ReplyDelete
  10. හරිම වැදගත් ලිපියක් වගේම සංවේදී කොමෙන්ට් ටිකක්.. අමතක නොවෙන්න හිතට වැදුනා.දැං පොඩි අවබෝධයක් තියනවා ඉදිරිය ගැන..
    ජයවේවා..!!

    ReplyDelete
  11. මටත් නුදුරේදීම වැදගත් වෙන ලිපියක්.

    ReplyDelete
  12. ගොඩක් වටින ලිපියක්! ඉස්තුතියි.

    ReplyDelete
  13. මේ වගේ ප්‍රශ්න ගොඩක් අවම කරගන්න පුලුවන් විවාහය, ලිංගික සබඳතා, දරුවන් ලැබීම, හැදිම ගැන මීට වඩා නිවැරදි ක්‍රමවත් දැනුමක් ලබා ගැනිමට් ගැහැනු පිරිමි දෙගොල්ලනටම ප්‍රායොගිකව මේ දෙවල් වලට මුහුණ දීමට කලින් සිටම ක්‍රියා කිරිම.. අධ්‍යාපන තරඟයේ සහ ජීවන තරඟයේ යනවා මිසක් දෙයක් උනාම තමයි දැනට තියන විදිහට හැඩ ගැහෙන්න වෙලා තියෙන්නේ...එහෙම උනාම ප්‍රශ්න වැඩියි තමා... එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ කතා කරන දේවල් දැන් කොයි කාලයක් තිස්සේ කතා කරනවද, අපහසුතා විඳිනවද කෝ විසඳුම් ? අඩුම ගානේ ප්‍රශ්නේ එන්නෙ ඇයි කොතනද මුල, කොහොමද එතනට විසඳුම් දෙන්නේ කියලා හිතන්නෙ කවුද ? ප්‍රශ්න එන්න කලින් කොහොමද අඳුරගෙන අවම කර ගන්නේ ? ඒ ක්‍රියාමාර්ග රට පුරා විවිධ සමාජ තල වලට එක හා සමානව බෙදා දෙන්නේ කොහොමද ? මෙන්න මෙවා කතා කරනව වෙනුවට ඉපදුනු ළමයට යන්න ජනප්‍රිය පාසලකට හොර සහතික හැදිම වගේම , අනාගත්යේ ලමයෙග රස්සව තීරන්ය කිරිම, 5 වසරේ විභාගේ ගැන හීන මැවිම වගේ දෙවල් නම් කෙරෙනව..අන්තිමේ චක්‍රයක් වගේ ඒ ඉපදෙන දරුවොත් මේ ප්‍රශ්න වලටම මූණ දිලා ජීවිතේ විඳවන තැනකට එනවා.. ඉන් පස්සේ ඒ චක්‍රයම තමයි ඉතින්...

    ReplyDelete
  14. ලන්කාවේ සැමියන්ගෙන් හම්බ නොවෙන සහායක් බටහිර ස්වාමිපුරුෂයන්ගෙන් ලැබෙනවා කියලා මාත් හිතනවා. මගේ යෙහෙලියක්ගේ සැමියෙක් වැඩැට ගිහින් ඇවිත් බබාගේ වැඩ කරන හැටි දැක්කාම අදහාගන්ටත් බැරි තරම්. දරුවෙක් ඔවුන්ට ඉතාම වටිනා බවකුයි පෙනෙන්නේ.

    ඒ වගේම ලන්කාවේ යෙහෙලියන් බබ්බු හම්බවෙන්න ගිහින් විඳපු කරදර අහනකොට නම් බයත් හිතෙනවා. ඒවා මෙහෙම ලියන එකත් හරි මදි කියලා හිතෙනවා.

    කොහොම වුනත්, හොඳින් තේරෙන වයසෙදි ලමයෙක් ලැබීමත්, ඒ සඳහා කලින් සූදානම්වීමත් වැදගත්.

    ReplyDelete
  15. දරුවෙක් හදන්න ගන්න මහන්සිය තේරෙන වැඩිහිටියො ඉන්න පවුලකට සම්බන්ද වෙන අම්මලා හරි වාසනාවන්තයි. මගෙ නැන්දම්මත් මට උදව් කලේ නෑ.

    ReplyDelete
  16. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete
  17. ගොඩක් දෙනා දුක් විඳින්නේ ලෙඩේටත් වඩා අනිත් අයගේ අනවබෝධය / වැරදි වැටහීම් නිසා. ඒ වැරදි වැටහීම් නිසා එන වේදනාව රෝගය නිසා ඇති වන වේදනාවට වඩා ගොඩක් වැඩියි.
    .
    ගොඩක් දෙනාට තමන් ගැන කියා ගන්න තේරෙන්නෙ නැහැ. තමන්ට දැනෙන හිතෙන දේවල් කියා ගන්න වචන නැහැ. කෙලින්ම වචන වලින් කියා ගන්න බැරුව වෙනත් ක්‍රම ඉඟි ආදියෙන් උත්සාහ කරනවා අනිත් අය තේරුම් ගනියි කියලා.

    ReplyDelete
  18. ගොඩක් දෙනා දුක් විඳින්නේ ලෙඩේටත් වඩා අනිත් අයගේ අනවබෝධය / වැරදි වැටහීම් නිසා. ඒ වැරදි වැටහීම් නිසා එන වේදනාව රෝගය නිසා ඇති වන වේදනාවට වඩා ගොඩක් වැඩියි.
    .
    ගොඩක් දෙනාට තමන් ගැන කියා ගන්න තේරෙන්නෙ නැහැ. තමන්ට දැනෙන හිතෙන දේවල් කියා ගන්න වචන නැහැ. කෙලින්ම වචන වලින් කියා ගන්න බැරුව වෙනත් ක්‍රම ඉඟි ආදියෙන් උත්සාහ කරනවා අනිත් අය තේරුම් ගනියි කියලා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !